Total Pageviews

Thursday, August 4, 2016

##සැබෑවටම ඔහු සුවිශේෂී නිර්මාණකරුවෙකි##...



කලාකරුවෙකු වීම අන් සෑම වෘත්තිකයෙකු වීමකට වඩා උසස්ය. මන්ද කලාකරුවා සමස්ථ සමාජයම තම නැණ පමණින් දැක ඊට සංවේදිව එය පෙරළා තම ප්‍රකාශන මාධ්‍ය තුළින් සමාජගත කරන බැවිණි. ජයන්ත චන්ද්‍රසිරි මහතා සුවිශේෂී වන්නේ ඔහු කලාකරුවෙකු වීමත්, ඔහුගේ ප්‍රකාශන මාධ්‍ය එක් දෙයකට සීමා නොවීමත් හේතුවෙනි. එමෙන්ම ඔහු අතිශය සංවේදී කලාකරුවෙකු වන බැවිණි. ඔහු වේදිකාව, රූපවාහිනිය, සිනමාව, පුවත්පත්,කවිය, ගීතය සිතැඟි ප්‍රකාශ කිරීමේ මාධ්‍යයන් ලෙස භාවිත කරයි. මේ භාවිතය කෙනෙකුට පිහිටන්නේ කලාතුරකිනි. ඔහු වේදිකාවේත්, සිනමාවේත්,රූපවාහිනියේත් සිය නිර්මාණ තුළින් බුද්ධිමත් ප්‍රේක්ෂකයා සිය ග්‍රහණයට ගත් නිර්මාණශීලී අධ්‍යක්ෂකවරයෙකි.
1559 ජුනි 22 දා බණ්ඩාරවෙල මහගම ආරච්චිගේ දයානන්ද හා වලිසිංහ ආරච්චිගේ සෝමලතා කුමාරිහාමිට දාව මෙලොව එළිය දුටු චන්ද්‍රසිරි මහතා සොහොයුරන් දෙදෙනකු සහ සොහොයුරියන් දෙදෙනකු යුත් පවුලේ වැඩිමලාය. රාගම හීන්කෙන්ද මහා විද්‍යාලයෙන් ශිල්ප හැදෑරූ මොහු කලා කටයුතු වලට දැක්වූයේ දැඩි ඇල්මකි. ප්‍රසිද්ධ වේදිකාවේ ඒකාධිපති ලොවින් එකෙක්, සිලිං බිලිං, සත්මුතු කාමරයක් ඇතුළ, සක්විත්තෝ වැනි නාට්‍ය ගණනාවකටම රංගනයෙන් දායක විය.
 1981 දී මල්ටි ෆැක්ස් ආයතනයේ ඉරිදා පුවත්පතේ උප කර්තෘවරයෙකු වශයෙන් සේවයට එක් වි පුවත්පත් කලාවේදියකු ලෙස වෘත්තිය ජීවිතය ආරම්භ කර 1982 දී උපාලි පුවත්පත් සමාගම හා එක්විය. දිවයින පත්‍රයේ නියෝජ්‍ය කර්තෘවරයෙකු හා විශේෂාංග කර්තෘවරයකු වශයෙන් ද, වර්තමානයේ කර්තෘවරයෙකු වශයෙන් තම දායකත්වය පිරිණමමින් පුවත්පත් කලාවට අගනා මෙහෙයක් අදත් ඉටු කරයි. 
1987 දී අප්පුආරච්චිගේ දෝන මදුමතී හා අතිනතබගත් ජයන්ත චන්ද්‍රසිරි මහතා උත්තරා අමන්දා, අංජනී සුලක්ඛනා සහ උවදු සඳකැන් යන දරුවන්ගේ ආදරණීය පියාණන්ය. 
ජයන්ත චන්ද්‍රසිරි යන නාමය ශ්‍රී ලාංකීය කලා සමාජය තුළ කේන්ද්‍රගත වනුයේ විශිෂ්ටගණයේ ටෙලි නාට්‍ය නිර්මාපකයෙකු ලෙසය. වෙද හාමිනේ ටෙලි නාට්‍යෙය් සිට හතර දෙනෙක් සෙන්පතියෝ දක්වා වූ ටෙලි නිර්මාණපෙළින් ඔහු පෑ අභිමන් ඒ බව සාධාරණීකරනය කරයි. එහිදී වෙස් මුහුණ, දඬුබස්නාමානය, කාලාර්ථයේ තීර්ථ යාත්‍රිකයා, අකාල සන්ධ්‍යා සහ රැජින යන ටෙලි නාට්‍ය ගැඹුරු අර්ථයක් කැටි කරගත් ටෙලි නාට්‍ය ලෙස අගය කළ හැකිය.
 එමෙන්ම ගරිල්ලා මාර්කටින්, අග්නිදාහය, සමනළ සංධ්වනිය, මහරජ ගැමුණු යන චිත්‍රපට ඔහුගේ සමාජ කියැවීමේ හැකියාව මනාව ප්‍රකට කරයි. 
 මේ ආකාරයෙන් විශිෂ්ට නිර්මාණකරණයක නියුතු ජයන්ත ජන්ද්‍රසිරි නම් කලාකරුවාගේ නිර්මාණ කෞෂල්‍ය සැබෑවටම සුවිශේෂී බව මොනවට පැහැදිලි වෙයි.


දුක් විඳින කාන්තාව

කාන්තාවක් සමාජය තුළ මවක වශයෙන්, බිරිඳක වශයෙන්, සහෝදරියක වශයෙන් මෙන්ම දියණියක වශයෙන් කටයුතු කරයි. එහිදී ඇයගේ උත්තරීතරභාවය පිළිබඳව කොතෙකුත් වැකි ඉදිරිපත් වෙයි. එය සෑම ආගමකම පාහේ දක්නට ලැබෙන තත්ත්වයකි. නිදසුන් ලෙස බුදු දහම තුළ ගෙදර බුදුන් අම්මා යන විරුධාවලිය ඇය වෙත හිමිකර දෙයි. එමෙන්ම ඇය කෙරෙහි ඉටු කළ යුතු යුතුකම් සදිසාව ඔස්සේ පැහැදිලි කර තිබේ. නමුත් ඒ කිසිවක් ප්‍රායෝගිකව ඉටු වන බව දැකගත නොහැකිය.
 තරඟකාරී සමාජ ක්‍රමයකට අනුගතව පවතින අද සමාජය තුළ කාන්තාව  යනු එහි පෙරගමන්කරුවා කිවහොත් නිවැරදිය. මන්ද පුරුෂයාටත් වඩා වැඩි වශයෙන් නොයෙකුත් වැඩවල නිරත වන්නේ ඇයයි. ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ‍යොදවන වෙහෙසට සමානව පවුල් සංස්ථාව ගොඩනගා ගැනීමට ද  ඇය දරණ වෙහෙස කියා නිම කළ නොහැකිය.
 දස මසක් කුස තබාගෙන හිද දරුවකු බිහි කිරීම ම ඇය සිදු කරන උතුම් මෙහෙවරකි. කොතෙකුත් වේදනා දැනුනත් එය ඉවසා සිටින්නට තරම් ඇයට ශක්තියක් පවතින්නේ ඇය සතු උත්තරීතර බව නිසාම නොවේද?
නමුත් අද සමාජය තුළ කාන්තාව කෙරෙහි දක්වන සැළකිල්ල පිළිබඳව නම් පවතින්නේ කණගාටු තත්ත්වයකි. ඒ මන්ද යත් දිනපතා කාන්තාවන් දූෂණය පිළිබඳව මෙන්ම කුඩා දැරියන් දූෂණය පිළිබඳව, බීමත් සැමියාගේ පහරකෑම් වලට ලක් වු කාන්තාවන් පිළිබඳව, නොයෙකුත් තාඩන පීඩන වලට ලක් වූ කාන්තාවන් පිළිබඳව, මහ පාරට ඇද දැමූ මව්වරුන් පිළිබඳව, දසතින් අසන්නට දකින්නට ලැබෙන නිසාවෙනි. එමෙන්ම ඇයට නිදහසේ පාර තොටේ යන්නටවත් නොහැකි තත්ත්වයක්බගොඩ නැගී ඇත්තේ ඇතැම් අසමත්ජාතීන්ගේ නිර්ලජ්ජී වැඩ නිසාවෙනි. මේ හේතුවෙන් කාන්තාවට ගෞරව කිරීම කෙසේ වෙතත් ඇයට හිමි නිදහසවත් නොමැති බව නම් සැබෑය. 
 කාන්තා දිනය යනුවෙන් දිනයක් වෙන් කිරීමෙන් එදිනට පමණක් සීමා වූ නිදහසක් ඇයට උරුමකර දීම සාධාරණද යන්න සිතිය යුතුය.  අනෙකුත් සෑම දිනයක්ම ඇයගේ ජීවිතයට දුක් කරදර ගලා එන්නේ නම් එදින ද වෙන් කර ඵලක් නැත. ඇයගේ ජීවිතයට එන දුක් කරදර ඉවසාගත නොහැකි තැන සියදිවි නසා ගැනීම දක්වා අද ඇතැම් කාන්තාවන්ගේ සිතුවිල්ල ප්‍රබල වි ඇත්තේ ඇය වෙනුවෙන් පවතින සමාජය තුළ හිමිවන අඩු වටිනාකම නිසාවෙන් යැයි කිව නොහැකිද?