Total Pageviews

Wednesday, August 3, 2016

සහජීවනයේ අවශ්‍යතාවය



සමාජයේ විවිධ පුද්ගලයින් ජීවත් වෙයි. ඔවුහු වෙනස් වන්නේ ආගම, ජාතිය වැනි විවිධ සාධකයන්ට අනුවය. එනම් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ වශයෙන් ජාතීන් සහ බුද්ධාගම, කිතුනු ආගම, ඉස්ලාම් ආගම ආදී ආගම්වල වෙනස්කම් වලිනි. ඒ කෙසේ වෙතත් සෑම පුද්ගලයකුම ඇට ලේ මස් නහර වලින් සැදුනු එකම කොටසකි. එබැවින් පොදුවේ මිනිසා යන උසස් ගෞරව නාමයක් හිමිකර දී ඇත. 
උපදිනවිට රැගෙන එන දෙයක් නැත. මිය යන විට රැගෙන යන දෙයක් ද නැත. එසේ නම් මිනිසුන් අතර ජීවත්වන කෙටි කාලය තුළ සහජීවනත්වය ගොඩනගා ගත හැකි නම් කොයිතරම් අපූරුද. මෙවැනි තත්ත්වයක අවශ්‍යතාවය අද වන විට දැනී පවතී. ඒ මිනිසුන් අතර ජාතිභේද, ආගම්භේද වල වර්ධනීය තත්ත්වයක් දැකගත හැකි බැවිණි. 
මිනිසුන්ට උදව් කළ හැක්කේ තවත් මිනිසෙකුටය. එහිදී ජාතියක් ආගමක් පිළිබඳව සිතනවා නම් කොයිතරම් සත්ගුණවත්ව ඒ දේ කළත් ඵලක් නැත. 
පසුගිය කාලයේ අප රට විනාශ මුඛයට ඇද වැටුනේ ද මිනිසුන්ගේ භේද භින්නකම හේතුවෙන් යැයි සහතික කළ හැකිය. එසේ නොවන්නට අප රටට සුන්දර අතීතයක් හිමි වනු ඇත. නමුත් දැන් ඒ සියල්ල සිදු වී හමාරය. අප සිතිය යුත්තේ අනාගතය ගැනය.
රටේ යුද්ධයක් නැත. බෝම්බ පිපිරීම් වෙඩි හඬ දසතින් ඇසෙන්නේ නැත. නමුත් මනුෂ්‍ය හදවතේ තවමත් ඇත්තේ භේදය නම් එය තුරන් කළ යුතුය. මිනිසා උපදින විටම තම අනන්‍යතාවය තහවුරු කෙරෙන ආගමක්, ජාතියක්  හිමි වීම වැළැක්විය නොහැක. එය තම පැවැත්මේ කේන්ද්‍රීය සාධකයකි. නමුත් ඒවාට මුවා වී කටයුතු නොකළ යුතුය. රටක පුරවැසියෙකු ලෙස අන්‍යයන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුය.  සෑම කෙනෙකුම සියයට සියයක් අංග සම්පූර්ණ නැත. දන්නා දේ නොදන්නා අයට කියාදීමත්, නොදන්නා දේ දන්නා අයගෙන් අසා දැනගැනීමටත් ඕනෑම පුද්ගලයෙකුට නිදහස පවතී. එය ජාති ආගම් වශයෙන් වෙනස් විය යුතු බවට නීති පැනවීමට කිසිවෙකුත් නොමැත. සහජීවනය යන සංකල්පය ඇති කරගත යුත්තේ තමන්මය. නමුත් එය ඇති කරගැනීමට තවකෙකුට උදව් කළ හැකිය. එම තත්ත්වයන් ගැන සිතා කටයුතු කරන්නේ නම් අපට තිබූ අඳුරු අතීතය අනාගතයේදී  සුන්දර හෙට දවසකින් වින්දනය කළ හැකිය.

දැනුම් මඟට පිවිසෙන්නට නම්...



 
 දැනුම යන සාධකය පුද්ගල මනෝභාවයන් වර්ධනය කරගැනීමට සහ පුද්ගල ජීවිතය වර්ණවත් කර ගැනීමට වැදගත්ය. ඒ සඳහා අත්‍යවශ්‍යම සාධකයක් ලෙස කියවීම යන්න හඳුනාගත හැකිය. අතීතයේ මිනිසා තම තමන් සතු දැනුම අනාගත පරපුරට ලබා දීමට විවිධ උත්සාහයන් වල නිරත විය. එහි වර්ධනීය අවස්ථාවක් ලෙස පොත්ගුල් ආශ්‍රිත කියවීමේ හා දැනුම ගබඩාකර තිබීමේ ස්ථාන බිහිවීමත් පසුකාලීනව පුස්තකාල නිර්මාණය වීමත් සිදු විය. කියවීම මිනිසා සම්පුර්ණ කරයි යන කියමනද ජනවහරට එකතු වන්නේ අර්ථපූර්ණකවය. එහි අර්ථය හොදහැටි දන්නා පුද්ගලයා තම දැනුම් පිපාසය සන්සිඳවා ගැනීමට අවශ්‍ය නිවැරදි මඟ තෝරාගනී.
කියවීම පිරිපුන් මිනිසකු බිහි කරන බැවින් ඒ සඳහා වෙන් වූ කියවීමේ මාසයක් නම්කර තිබේ. ඉතා කාර්යබහුල ජීවිතයක් ගත කරන අයෙකුට වුවද කියවීම වෙනුවෙන් කෙටි කාලයක් හෝ වෙන් කර ගැනීමට එවැනි කාලයක් වැදගත්ය.
පොත්පත් භාවිතය වත්මන් සමාජය තුළින් තුරන් වී යන බව බොහෝ දෙනාගේ මතය වුවද කියවීමේ මාසයේ දී පොත් ප්‍රදර්ශන කුටිවල අස්සක් මුල්ලක් නැතිව ගැවසෙන සෙනඟ දුටු අයෙකුට නම් එම කියමන අසත්‍ය බව වැටහෙනු ඇත. මන්ද අපේ සමාජයේ තවමත් කියවීමට කැමති බොහෝ දෙනෙක් සිටින බැවිනි.
කියවීම හුදෙක් පොත්පත් කියවීම පමණක්ම නොවේ. පුවත්පත්, සඟරා වැනි දේ දිනපතා කියවයි නම් පොතපතට එහා ගිය ප්‍රායෝගික දැනුමක් හිමි කරගත හැකිය. එය සමාජයේ ජීවත් වීමේදි ද වැදගත් වන්නකි.
සමාජයේ ජීවත්වන නොයෙකුත් පුද්ගලයන් අතරේ කියවීමට කැමත්තක් දක්වන පුද්ගලයා මනාව කැපී පෙනෙනු ඇත. බුද්ධිමත් යැයි හදුන්වන්නේ එවැන්නන්ය. බුද්ධිමත් පුද්ගලයාට සමාජයේ සිදු වන විවිධ දේ ගැටලුවක් කර නොගෙන ඉවසීමෙන් කටයුතු කිරීමේ හැකියාව උරුම වෙයි. ඒ ඔහු කියවීමෙන් සමාජ ස්වරූපය අවබෝධ කරගත් නිසාවෙනි. එම නිසා කියවීම දැනුම මඟට පිවිසෙන්නට හොදම මාර්ගය බව සඳහන් කළ හැකිය.

Facebook භාවිතය හා තරුණ පරපුර


නව මාධ්‍යයේ ආගමනයත් සමඟ තරුණ ප්‍රජාව ඒ කෙරෙහි යොමු වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට හැකිය. එය ඇතැම්විට යොමු වීම පමණක් නොව ඇබ්බැහි වීමක් වශයෙන් සැළකිය හැකිය. එහිදී ජංගම දුරකතනය, Facebook, Youtube,Gmail,Twitter, ආදිය නව මාධ්‍යන්ගේ ආගමනය තුළ පෙරගමන්කරුවන් ලෙස හැදින්විය හැකිය. ඒවා එකකට එකක් තරුණ ප්‍රජාව ග්‍රහණය කරගැනීමේ ස්වභාවය අනුව වෙනස් වෙයි.

නව මාධ්‍ය තුළ හොද හා නරක යන දෙඅංශයම පවතී. ඒ පිළිබඳව නිසි අවබෝධයෙන් භාවිත කරන්නන් හට නොයෙක් ගැටලු වලට මුහුණ දීමට සිදුවීමෙන් වැළකිය හැකිය. නමුත් අනවබෝධයකින් කටයුතු කරන්න් හට අනාගතයම බිඳ වැටිය හැකි සිදුවීම් සිදුවිය හැකිය. එවැනි තත්ත්වයන් වත්මන් සමාජය තුළින් කොතෙකුත් වාර්තා වෙයි. ඉන් වැඩිහරියක් තරුණ ප්‍රජාව හා බැඳුණු ගැටලු බව හඳුනාගත හැකිය. 

නව මාධ්‍ය තුළ Facebook වලට වැඩි යොමුවිමක් දැකගත හැකිය. මිතුරන් ඇති කර ගැනීම, මිතුරන් වැඩි කරගැනීම, ප්‍රේම සබඳතා පවත්වාගෙන යාමට, තම අදහස් අනිත් අය සමඟ බෙදා ගැනීමට, විරහව, සතුට ප්‍රකාශ කිරීමට, කාන්සිය මඟහරවා ගැනීමට, තම අනාගතය පිළිබඳව සැළසුම් කිරීමට පවා මුහුණු පොතේ පිහිට පතන අය කොතෙකුත් නම් සිටී. මෙලෙස තම පෞද්ගලිකත්වය අහිමි කරගනිමින් සියල්ලන්ගේ පොදු භාණ්ඩයක් බවට පත්වන්නේ මන්ද යන්න ගැටලුවකි.
සිදු වන සියලු වැරදි වලට Facebook වැරදි නැති බවත් වැරැද්ද ඇත්තේ අප තුළම බව සිහි තබා ගත යුතුය.