Total Pageviews

Wednesday, August 3, 2016

දැනුම් මඟට පිවිසෙන්නට නම්...



 
 දැනුම යන සාධකය පුද්ගල මනෝභාවයන් වර්ධනය කරගැනීමට සහ පුද්ගල ජීවිතය වර්ණවත් කර ගැනීමට වැදගත්ය. ඒ සඳහා අත්‍යවශ්‍යම සාධකයක් ලෙස කියවීම යන්න හඳුනාගත හැකිය. අතීතයේ මිනිසා තම තමන් සතු දැනුම අනාගත පරපුරට ලබා දීමට විවිධ උත්සාහයන් වල නිරත විය. එහි වර්ධනීය අවස්ථාවක් ලෙස පොත්ගුල් ආශ්‍රිත කියවීමේ හා දැනුම ගබඩාකර තිබීමේ ස්ථාන බිහිවීමත් පසුකාලීනව පුස්තකාල නිර්මාණය වීමත් සිදු විය. කියවීම මිනිසා සම්පුර්ණ කරයි යන කියමනද ජනවහරට එකතු වන්නේ අර්ථපූර්ණකවය. එහි අර්ථය හොදහැටි දන්නා පුද්ගලයා තම දැනුම් පිපාසය සන්සිඳවා ගැනීමට අවශ්‍ය නිවැරදි මඟ තෝරාගනී.
කියවීම පිරිපුන් මිනිසකු බිහි කරන බැවින් ඒ සඳහා වෙන් වූ කියවීමේ මාසයක් නම්කර තිබේ. ඉතා කාර්යබහුල ජීවිතයක් ගත කරන අයෙකුට වුවද කියවීම වෙනුවෙන් කෙටි කාලයක් හෝ වෙන් කර ගැනීමට එවැනි කාලයක් වැදගත්ය.
පොත්පත් භාවිතය වත්මන් සමාජය තුළින් තුරන් වී යන බව බොහෝ දෙනාගේ මතය වුවද කියවීමේ මාසයේ දී පොත් ප්‍රදර්ශන කුටිවල අස්සක් මුල්ලක් නැතිව ගැවසෙන සෙනඟ දුටු අයෙකුට නම් එම කියමන අසත්‍ය බව වැටහෙනු ඇත. මන්ද අපේ සමාජයේ තවමත් කියවීමට කැමති බොහෝ දෙනෙක් සිටින බැවිනි.
කියවීම හුදෙක් පොත්පත් කියවීම පමණක්ම නොවේ. පුවත්පත්, සඟරා වැනි දේ දිනපතා කියවයි නම් පොතපතට එහා ගිය ප්‍රායෝගික දැනුමක් හිමි කරගත හැකිය. එය සමාජයේ ජීවත් වීමේදි ද වැදගත් වන්නකි.
සමාජයේ ජීවත්වන නොයෙකුත් පුද්ගලයන් අතරේ කියවීමට කැමත්තක් දක්වන පුද්ගලයා මනාව කැපී පෙනෙනු ඇත. බුද්ධිමත් යැයි හදුන්වන්නේ එවැන්නන්ය. බුද්ධිමත් පුද්ගලයාට සමාජයේ සිදු වන විවිධ දේ ගැටලුවක් කර නොගෙන ඉවසීමෙන් කටයුතු කිරීමේ හැකියාව උරුම වෙයි. ඒ ඔහු කියවීමෙන් සමාජ ස්වරූපය අවබෝධ කරගත් නිසාවෙනි. එම නිසා කියවීම දැනුම මඟට පිවිසෙන්නට හොදම මාර්ගය බව සඳහන් කළ හැකිය.

1 comment:

  1. කියවීම මිනිසා සම්පූර්ණ කරයි....

    ReplyDelete