Total Pageviews

Wednesday, August 3, 2016

සහජීවනයේ අවශ්‍යතාවය



සමාජයේ විවිධ පුද්ගලයින් ජීවත් වෙයි. ඔවුහු වෙනස් වන්නේ ආගම, ජාතිය වැනි විවිධ සාධකයන්ට අනුවය. එනම් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ වශයෙන් ජාතීන් සහ බුද්ධාගම, කිතුනු ආගම, ඉස්ලාම් ආගම ආදී ආගම්වල වෙනස්කම් වලිනි. ඒ කෙසේ වෙතත් සෑම පුද්ගලයකුම ඇට ලේ මස් නහර වලින් සැදුනු එකම කොටසකි. එබැවින් පොදුවේ මිනිසා යන උසස් ගෞරව නාමයක් හිමිකර දී ඇත. 
උපදිනවිට රැගෙන එන දෙයක් නැත. මිය යන විට රැගෙන යන දෙයක් ද නැත. එසේ නම් මිනිසුන් අතර ජීවත්වන කෙටි කාලය තුළ සහජීවනත්වය ගොඩනගා ගත හැකි නම් කොයිතරම් අපූරුද. මෙවැනි තත්ත්වයක අවශ්‍යතාවය අද වන විට දැනී පවතී. ඒ මිනිසුන් අතර ජාතිභේද, ආගම්භේද වල වර්ධනීය තත්ත්වයක් දැකගත හැකි බැවිණි. 
මිනිසුන්ට උදව් කළ හැක්කේ තවත් මිනිසෙකුටය. එහිදී ජාතියක් ආගමක් පිළිබඳව සිතනවා නම් කොයිතරම් සත්ගුණවත්ව ඒ දේ කළත් ඵලක් නැත. 
පසුගිය කාලයේ අප රට විනාශ මුඛයට ඇද වැටුනේ ද මිනිසුන්ගේ භේද භින්නකම හේතුවෙන් යැයි සහතික කළ හැකිය. එසේ නොවන්නට අප රටට සුන්දර අතීතයක් හිමි වනු ඇත. නමුත් දැන් ඒ සියල්ල සිදු වී හමාරය. අප සිතිය යුත්තේ අනාගතය ගැනය.
රටේ යුද්ධයක් නැත. බෝම්බ පිපිරීම් වෙඩි හඬ දසතින් ඇසෙන්නේ නැත. නමුත් මනුෂ්‍ය හදවතේ තවමත් ඇත්තේ භේදය නම් එය තුරන් කළ යුතුය. මිනිසා උපදින විටම තම අනන්‍යතාවය තහවුරු කෙරෙන ආගමක්, ජාතියක්  හිමි වීම වැළැක්විය නොහැක. එය තම පැවැත්මේ කේන්ද්‍රීය සාධකයකි. නමුත් ඒවාට මුවා වී කටයුතු නොකළ යුතුය. රටක පුරවැසියෙකු ලෙස අන්‍යයන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුය.  සෑම කෙනෙකුම සියයට සියයක් අංග සම්පූර්ණ නැත. දන්නා දේ නොදන්නා අයට කියාදීමත්, නොදන්නා දේ දන්නා අයගෙන් අසා දැනගැනීමටත් ඕනෑම පුද්ගලයෙකුට නිදහස පවතී. එය ජාති ආගම් වශයෙන් වෙනස් විය යුතු බවට නීති පැනවීමට කිසිවෙකුත් නොමැත. සහජීවනය යන සංකල්පය ඇති කරගත යුත්තේ තමන්මය. නමුත් එය ඇති කරගැනීමට තවකෙකුට උදව් කළ හැකිය. එම තත්ත්වයන් ගැන සිතා කටයුතු කරන්නේ නම් අපට තිබූ අඳුරු අතීතය අනාගතයේදී  සුන්දර හෙට දවසකින් වින්දනය කළ හැකිය.

No comments:

Post a Comment