ජීවිතය ජීවත් කරවන්නෙ නැවුම් බලාපොරොත්තු. ලෝකයක් ආලෝකමත් කරන්නෙ
නැවුම් හිරු කිරණ. රාත්‍රී ඝණ අන්ධකාරය මැඩලමින් පායන සඳ එළිය ගතට මෙන්ම සිතට ද
ගෙන එන්නෙ අමුතුම ආකාරයේ චමත්කාරයක්. ඒ සිසිලස නිදහසේ විඳගන්න හඳපානාගල
මිනිස්සුන්ට අද වන අලි තහංචිදාලා. ඒ නිසා
දවල් තිස්සෙම මහ පොළවත් එක්ක ඔට්ටු වෙලා රෑ තිස්සෙත් අලිත් එක්ක ඔට්ටු වෙන්න වෙලා.
මේ වගේ දහසකුත් දුක් කම්කටලළු මැද ජීවත් වන අහිංසකයින්ගේ හෙට දවස ගැන
බලාපොරොත්තුවක් දෙන්න හැකි නම් කොයිතරම් දෙයක්ද. හඳපානාගලට මෙතෙක් කල් නොපෑයූ හඳ එදාට අනිවාර්යයයෙන්ම
පායයි.
නිජබිමකින් එහි උරුමක්කරුවෙක් වෙන් කරන එක මවකගෙන් දරුවෙක් වෙන් කරනවා
හා සමානයි. මවට දරුවගෙන් වෙන් වෙලා ඉන්න බැරි වෙනවා වගේම සත්තුන්ටත් තම නිජබිම දාලා
යන්න බෑ. හඳපානාගල නිජබිම කරගත් වන අලි තමන්ගේ අයිතිවාසිකම් ටිකෙන් ටික අඩු වෙනබව
දැනෙන විට නොබියව ඒ වෙනුවෙන් සටන් කරන්න වුණත් දෙවරක් හිතන්නෙ නෑ.
අලින්ට කන්න ,බොන්න වගේම ඉන්න
තැන් අහිමි කරනව නම් ඒ අලි ළගම තියෙන ගම්මානෙට කඩා පනිනවා. ඒ නිසා අලි - මිනිස්
ගැටුම තව තවත් වැඩි වෙලා. මේ තත්ත්වය නිසා අලි වගේම මිනිස්සුත් අසරණවෙලා කියලයි අපිට
හිතුණෙ.
මේ අලි මිනිස් ගැටුමට දැනට පවතින විසඳුම් ගැනත්, ඉදිරියෙදි බලාපොරොත්තු
වන විසදුම් මොනවාද යන්නත් අපි මුලින්ම අහලා බැලුවෙ ඩී.එම් සරත් බණ්ඩාරගෙන්.
" අලි මිනිස්
ගැටුම පවතින්නෙ අද ඊයෙ ඉදන් නෙවෙයි. 77 විවෘත ආර්ථිකයෙන් පසුව පැවති ආණ්ඩුව හඳපානාගල
වන රක්ෂිතයෙන් හෙක්ටයාර් හැටහයදාහක් ඩෝසර් කරලා විකුණුවා. ඒ බිම් කොටස්වල දැන්
කර්මාන්තශාලා ඉදිකරලා. (පැල්වත්ත සීනි කර්මාන්තායතනය, ඩෝන් ලංකා ආයතනය වගේ..) මේ
වගේ ආයතන ඉදිවෙන විට නිජබිම අහිමි අලි වියරු වැටෙනවා. උන් යාල වන රක්ෂිතයට
පළවාහැරියත් නැවතත් තම නිජබිම සොයාගෙන එනවා. පැල්වත්ත කර්මාන්තශාලාව නම් වැටක්
ගහලා රැකගන්නවා. ඒත් ගම් වදින අලින් මිනිස්සුන්ගෙ ජීවිත වලට තර්ජනයක් වෙලා. එහි ප්‍රථිඵලයක්
විදිහට දැනට මේ ගමේ මං දැනුවත්ව හත් දෙනෙක් මරලා දාලා තියෙනවා. මේ ගැටළුවට එකම
විසඳුම ලෙස මම නම් දකින්නෙ අලින්ගේ නිජබිම උන්ට ලබා දියයුතු බවයි. ඒවා තවදුරටත්
විනාශ වෙන්න නොදී පවත්තවා ගතයුතු බවයි. ඒ වගේම මේ දවස්වල හඳපානාගල වැව අඩි 4ක්
උස්සන්න වැඩ කරගෙන යනවා. එයින් වන රක්ෂිතය තව තවත් විනාශ වෙනවා.ඒ ගැන සිතා බලා
කටයුතු කළොත් අනාගතයේදීවත් අලි - මිනිස් ගැටුම වළක්වාගන්න හැකි වෙයි."
හඳපානාගල අලි
කරදරයට මුහුණ දෙන මිනිසුන් අතරේ ආර්.එම් හීන්බණ්ඩාත් එක් අයෙක්. කොච්චරකල් බලන්
හිටියත් අලි කරදරේ විසදෙයි කියලා තවමත් එය නිම නොවුණු වග ඔහු අප සමග පැවසුවා.
" හඳපානාගල සහ
අවට ප්‍රදේශය සංචාරක කර්මාන්තයක් බවට පත් කරන්න යාමේ ප්‍රථිඵලයක් විදිහට තමයි
මෙවැනි තත්ත්වයක් උදාවෙලා තියෙන්නෙ. සංචාරක කර්මාන්තය සඳහා රජයෙන් වාහන දැම්මා. ඒ
නිසා අලින්ගෙ බය නැති වුණා. විදේශිකයන් දෙදෙනකුත් මරලා දැම්මා. උන් දැන්
මිනිස්සුන්ට බය නැති නිසා වන ජීවී එකයි, රජයයි මැදිහත්වෙලා අලින්ව නඩත්තු කරන්න ඕන.
"
වැල්ලවාය ප්‍රදේශයේ
හඳපානාගල මිනිස්සුන්ට අලි කියන්නෙ ගොඩක් ලොකු ප්‍රශ්ණයක්. ඒ වෙනුවෙන් තවමත් හරියට
විසඳුමක් නැති බව අපට වැටහුණා. ඒ සම්බන්ධව වගකිවයුතු බලධාරීන් හමු වී මිනිසුන්ගෙ ජීවිත ආරක්ෂාවට ලබා දෙන සහ ලබා දී
ඇති විසඳුම් මොනවාද යන්න විමසා බැලුවා.
ග්‍රාම නිලධාරී තමයි ගමේ මිනිසුන්ට වඩාත් සමීපතම. ගමේ පවතින ප්‍රශ්ණ
ගැන වැඩිපුරම දන්නෙ ඔවුන්. හඳපානාගල ග්‍රාම නිලධාරිනී කේ.එම් නිමාලි ප්‍රියදර්ශනී
අලි - මිනිස් ගැටුමට ගෙන ඇති පියවර පිළිබඳව මෙලෙස අදහස් දැක්වූවා.
" රාත්‍රී කාලයේ ගමේ පාරවල් වල ට්‍රැක්ටර් යොදවා තියෙනවා. ගිනිමැල
ගහනවා. අලින්ගෙන් මිනිසුන්ට හානියක් වුනොත් ගොවි ජන සේවා එකේ රක්ෂණය වෙලා ඉන්න අයට
පමණක් වන්දි ලබා දෙනවා. අලින් සඳහා අගලක් කපන්න බලාපොරොත්තු වෙනවා "
වන සතුන්ගෙන් මිනිසුන්ට කරදර වෙනවා නම් ඒ ගැන වැඩි අවධානයෙන් සිටින්නෙ
වන අඩවි ආරක්ෂක අංශය. වැල්ලවායෙ ඒ පිළිබඳ කටයුතු කරන එච්.එම් චරිත සංකල්ප හේරත්
මහතාගෙන් අපි ඒ ගැන විමසුවා. දැනට එම
අංශයේ නිලධාරී හිඟයක් පවතින බව ඔහු පැවසුවා.
" අලි කරදරෙන් මිනිසුන් ආරක්ෂා කරගන්න විදුලි වැටක් ක්‍රියාත්මක
වෙනවා. එය ආනපල්ලම සිට හඳපානාගලටත්,
අන්නාසිගල සිට අයිස්පීල්ලටත් ආදී වශයෙන්. එහි දෙවන අදියරේ කටයුතු 75%ක් දැනට
නිමවෙලා තියෙනවා. ගල්බොක්ක සිට
අයිස්පීල්ලටත්, කුඩාඔය සිට අලුත්ඔය දක්වාත් විදුලි වැටවල් දාන්න යෝජනා වී තියෙනවා.
හැමතැනම අලි ඉන්න නිසා සංරක්ෂණය කිරීමේ දී ගැටළු මතු වෙනවා. වැල්ලවායෙ වන ජීවි
රක්ෂිතයක් නැති එක ලොකු අඩු පාඩුවක්. අලින්ගෙන් මිනිස් ජීවිත බේරා ගන්න තාවකාලික
විසඳුමක් විදිහට මිනිසුන්ට අලි වෙඩි ලබා දී තියෙනවා. කලහකාරී අලි අල්ලා දැඩි
ආරක්ෂිත ක්‍රම වලින් ගෙන ගොස් අලි අනාථාගාරවලට දමනවා. "
මිනිසුන් ජීවත්
වෙන්න අනේකවිඳ දහදුක් විඳිනවා. අලි ගමට කඩාවැදිලා ඔවුන් හරි හම්බ කරන දේ විනාශ
කරලා දාලා යනවා. එය කෙතරම් නම් මානසික පීඩනයක්ද.මේ ජනතාවට ලබා දෙන විසඳුම් පිළිබඳව
වැල්ලවාය ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයෙන් විමසා බලන්න අපි අමතක කළේ නෑ. ජීවිත
හානියකදී ලබා දෙන උපරිම මුදල ලක්ෂයක් වන බවත්, දේපළ හානියක දී විසිදාහක මුදලක්
ලබාදෙන බවත් එයින් දැනගන්නට ලැබුණා.
සුන්දර හඳපානාගල ගමේ අසුන්දර අලි -මිනිස් ගැටුමට විසඳුම් සොයා යන ගමනේ
අපට අපූරු දෙයක් දකින්නට පුළුවන් වුණා. ඒ ජීවත් වෙන්න උත්සහ දරණ සත්ත්ව කොට්ඨාශ
දෙකක්. එක් පසෙකින් උපන් නිජබිම අහිමි වී ඒ වෙනුවෙන් නැගී සිටින පිරිසක්.
අනෙක්පසින් උපන් නිජබිමේ නිදහසේ ජීවත් වන්නට නොහැකිව විඳින පීඩා වලට විසඳුම් හොයන පිරිසක්.
මේ දෙපාර්ශවය අතර ඇත්තේ එකම අරමුණක්. නමුත් ඔවුනොවුන් අතර ඔවුන්ටම නොදැනී ගැටුමක්
නිර්මාණය වෙලා. එයට වගකිව යුත්තේ ඔබ ද? මම ද? නැතිනම් මේ පවතින සමාජ ක්‍රමය ද?
තවමත් ස්ථිර පිළිතුරක් නැති මේ ගැටළුවට වගකිවයුත්තන්ගේ අවධානය යොමු වන්නේ නම්
මැනවි.
සටහන - ඉනෝකා සූරියප්පෙරුම
මේ ගැන දැනෙන්නේ විදවන ජනතාවට විතරයි
ReplyDeleteමේ ගැන දැනෙන්නේ විදවන ජනතාවට පමණි.
ReplyDeleteවගකිවයුත්තන් ඒ ගැන දැනුවත් වෙනව නම් හොදයි.ඒත් එහෙම වෙන්නෙ නෑනෙ
Delete